Sunday, 26 April 2020

උල්කාපාත



කොරෝනා නිසා ගේ ඇතුලෙම හිරවෙලා ඉදලා මට හොදටෝම එපාවෙලයි තිබුණෙ.තවත් එක මොහොතක්වත් ගේ ඇතුලට වෙලා ඉන්න මගෙ හිතේ කිසිම කැමැත්තක් ඉතුරුවෙලා තිබුණෙ නෑ.තිබ්බ ඉවසීම අන්තිම බිංදුවට ම බැහැලා හිදිලා ගිහිං.

මිදුලක් හරි තිබ්බා නං තව කමක් නෑ.එතකොට එලියට පහලියට බැහැලා ටිකක් ඇවිදින්න වත් තිබුණා.ඒත් වර්තමානයේ මම ගතකරමින් ඉන්න වතු ජීවිතෙත් එක්ක මිදුලක් කොහෙන්ද? එලිය බැස්සගමං ම පාර.පාරට එහා පැත්තෙ තියෙන්නෙ තව ගෙවල් පේලියක්.

අපේ ගදර දිහා බැලුවහම ඒත් එක්කම දෙපැත්තෙ තියෙන්නෙ ගෙවල් දෙකක්.ඒ ගෙවල් දිහා බැලුවහම ඒත් එහෙමම තමයි.වතු ජීවිතේ කියලා කියන්නෙ මෙන්න මේකට.සාමාන්‍යයෙන් ගමක නිදහසේ කෙළි දෙලෙං හැදුණු කෙනෙක්ට නං මේ ජීවිතේට හුරුවෙන්න අමාරුයි.ඒත් මොනවා කරන්න ද...?මට ඒකට හුරු වෙන්න සිද්ධ වුණා.

අපේ ගෙදර දොරයි ගේට්ටුවයි ඇරලා තියෙන වෙලාවක ඉස්සරහ ගෙදර දොරයි ගේට්ටුවයි ඇරලා තිබුණොතිං අපේ ගෙදර ඉදං ඒගොල්ලංගෙ කුස්සිය වෙනකංම බලා ගන්න පුලුවං.ඒක නං ටිකක් ජොලී වගේ...

කොහොම වුණත්, කිව්වත් වගේ මගෙ ඉවසීමෙ සීමාව පයින්න ඔන්නම එන්න තත්වයකුයි තිබුණෙ.අනික අපේ මල්ලි උදේ ඉදංම එලියෙ පැනලා සෙල්ලං කරන නිසා මම ගියාම මොකෝ..?


ඔන්න ඔහොම තත්වෙකදි තමයි එකපාට්ට පෝන් එක කෑගහන්න ගත්තෙ.

"හෙලෝ සහන්...ආරංචියක් එහෙම ආවද මොකක් හරි විශේෂ දෙයක් ගැන"

මට ඇහෙන්නෙ හුරු පුරුදු කටහඩක්...

"ම්හු....මොනවගේ දෙයක් ගැනද?"

"තරු වැස්සක් ගැන එහෙම..."

"තරු වැස්සක්...ඔයා විහිලු කරනවද..?"

"නෑ..මේ ඇත්තමයි. අද රෑ 12 ඉදං 2 වෙනකං අහසෙ උල්කාපාත වර්ෂාවක් ඇතිවෙනවලු.අනික ඒක ලංකාවට හොදටම පේනවත් එක්කලු.මම නං බලනවා.ඔයත් බලන්න.."

යාලුවා දුරකතන ඇමතුමට සමුදුන්නා.

කාලයක් තිස්සෙ හැංගිලා තිබ්බ දෙයක් ආපහු එලියට ආවා වගේ හැගීමක් මට දැනෙන්න ගත්තා.අහස ගැන හොයන්න...අධ්‍යනය කරන්න මට තියෙන්නෙ පුදුම ආශාවක්.ඒක පොඩිකාලෙ ඉදංම තිබුන දෙයක්...

මට හිතෙන විදිහට අහස කියන්නෙ හරි සුන්දර දෙයක්.අහස අපි නොදන්නවා උනාට මොකක්දෝ ලොකු රහසක් රැකගෙන ඉන්න කෙනෙක් කියලා මට වෙලාවකට හිතෙනවා.අහස දිහා බලන හැම වෙලාවකම මට අහසිං පේන්නෙ උපේක්ෂා සහගත බවක්.ඉතිං මංවත් නොදන්න හේතුවක් නිසා අහස මට ගොඩක් සමීපයි.අහසෙ ඉර බැහැගෙන යන වෙලාවක අහස දිහා බලාගෙන ඉද්දි හැම දේම අමතක වෙනවා.එක එක ජාතියෙ මිහිරි හැගීම් ඇතිවෙනවා.ඉර බැහැගෙන යන දිහා ගෑණු ළමයෙකුත් එක්ක මුහුදු වෙරළක ඉදං බලාගෙන ඉදිද්දි කොහොම නං හැගීමක් දැනෙනවා ඇත්ද?එහෙමත් නැත්තං තරු පිරුණු අහසක් දිහා බලාගෙන ගෑනු ළමයෙකුත් එක්ක විකාර දොඩෝ දොඩෝ ඉද්දි ඇතිවෙන හැගීම.ඒ ගෑනු ළමයා අපේම පෙම්වතිය වෙනව නං අපිට පුළුවං වේවි හැගීම් බර වෙන හැම වෙලාවෙම හාදුවක රස බලන්නත්... මං දුර ගියා වැඩියි වගේද කොහෙද.රාත්‍රී අහසත් අන්න ඒ වගේමයි.හරිම සුන්දරයි.ඉතිං අද මං යනවා ඒ අහස අධ්‍යනය කරන්න.ඒක කොයිතරං සුන්දර ද?

හරියටම රෑ 12 ට මම එලියට බැස්සා.ඒ වෙද්දි වත්තෙ ගොඩක් අය එකතුවෙලා කාඩ් ගහනවා.මේ මිනිස්සු නිදාගන්නෙ පාන්දරට.ඒකිව්වෙ මමත් ඒකට අයිති වෙනවා.

මෙච්චර කාලයක් ගෙට වෙලා ඉදපු මම එලියට ආපු එක ගැන වත්තෙ මල්ලිලාට ඇතිවෙලා තිබ්බෙ පුදුමයක්.ඉතිං මං කතාව කිව්වා...ඒක අහපුවහම ඒගොල්ලො මටත් වඩා කලබල වෙලා.කතාව කටිං කට ගිහිං ඉස්සරහ ගෙදර නැන්දටත් ආරංචි වෙලා.නැන්දටත් දැං මේ ගැන මාර කුතුහලයක් ඇතිවෙලා.

"පුතාලා කැමති නං අපේ ගෙදර බැල්කෙනියට ගිහිං බලන්න.එතෙන්ට අහස හොදට පේනවා."

ඒක ඒ වෙලාවෙ හැටියට ලැබුණු මාරම අවස්ථාවක්.

"අනේ බොහොම පිං නැන්දෙ" කියපු අපි කට්ටිය නැන්දටත් කලිං නැන්දලෑ බැල්කෙනියට නැගල ඉවරයි.

කොච්චර කොහොම කිව්වත් උල්කාපාත දකින්න ලැබේවි කියලා මට වැඩි විශ්වාසයක් නං තිබුණෙ නෑ.එහෙම උනොත් මම මේ කට්ටියව රැවැට්ටුවා වෙනවා.ඒ නිසා මට ඇතිවුනේ දුකක්..අපි පැය බාගයක් බලාගෙන හිටියත් කිසිම අමුතු දෙයක් නං පෙනුනෙ නෑ.

"මට හිතෙන්නෙ මේක බොරුවක් වගේ..."මම කියලා කට ගන්නත් කලිං එක තප්පරේකට අහෙසෙ මොකක්දෝ දීප්තියක් ඇතිවෙලා නැතිවෙනවා මම දැක්කා.

"මම හිතන්නෙ මම එකක් දැක්කා"මම කිව්වත් මට වැඩි විශ්වාසයක් නං තිබුණෙ නෑ.

"මමත් එකක් දැක්කා"ඉස්සරහ ගෙදර නැන්දත් කිව්වා.

දැං අපි අතර කුතුහලය එන්න එන්නම වැඩි වෙලා.

"අන්න ප්ලේන් එකක්" ඉස්සරහ ගෙදර නංගි අත දික්කරලා පෙන්නුවහම අපි හැමෝගෙම ඇස් ඒ දිහාට යොමු වුණා.

"ඒක....ප්ලේන් එකක් නෙමෙයි..."තාරකා විද්‍යාව ගැන තිබ්බ දැනුම පාවිච්චි කරලා මම කිව්වා.

"මගෙ හිතේ ඒක උල්කාපාතයක්.."අපි හැමෝම දැං බලාගෙන ඉන්නෙ තැඹිලි පාට බෝලයක් දිහා.ටිකක් වෙලා යද්දි ඒක නිමුනෙ අපි හැමෝවම පුදුමයකට ඇද දමමින්.

"ඒක උල්කාපාතයක්....හුරේ ඒක උල්කාපාතයක්...."

අවුරුදු 16 ක ජීවිත කාලෙදි පලවෙනි වතාවට මම උල්කාපාත වැටෙනවා ඇස් දෙකෙං දැක්කා.

අබ්දුල් උමර් සහන් සහන් නෙත්මිණ.


10 comments:

  1. මල්ලි දැන් සුපිරියට ලියනවා...නියමායි !!!
    ---------------
    අර කෙල්ල මැදට පැන්නෙ කොහෙ ඉදලද දන්නෑ 🤪

    ReplyDelete
  2. Replies
    1. දිගටම කියවන්න.e mail වලින් සබ්ස්ක්‍රයිබ් වුනොත් e mail notifications ඒවි.

      Delete